Apple සමාගම තමන්ගේ App Store එක හරහා සිදු කරනු ලබන සෑම ගණුදෙනුවකදීම 30%ක කොමිස් මුලදක් ලබා ගැනීමට කටයුතු කරනු ලබන බව අපි මීට කලින් කතා කළා මතක ඇති.

මේ අනුව App Store එක හරහා මිලදීගන්නා ඕනෑම දෙයක් වෙනුවෙන් ගෙවන මුදලින් අදාල නිෂ්පාදකයා හට ලැබෙන්නේ 70%ක මුදලක් පමණක් වන අතර, මෙය Spotify වැනි monthly subscription වලට ද අදාල වෙනවා.

මෙය බලපානු ලබන්නේ App Store එක හරහා සිදු කරනු ලබන ගණුදෙනු වලට පමණක් වන බැවින්, Spotify සමාගම විසින් ඒ වෙනුවට වෙනත් Payment method එකක් භාවිතා කිරීමට උත්සාහ කර තිබෙන අතර, Apple සමාගමේ නීති අනුව එයටද ඉඩක් නොමැති බව මොවුන් ප්‍රකාශ කරනවා.

මීට අමතරව Spotify වැනි සේවාවන් වල promotions ආදිය ද වලක්වාලීමට Apple සමාගම කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

Apple Music ප්‍රචලිත කිරීමේ අරමුණ නිසාවෙන් Spotify වැනි අනෙකුත් සේවාවන් හට Apple Siri වැනි සේවාවන් භාවිතා කිරීමේ හැකියාව ලබා නොදීමටත්, ඔවුන්ගේ Music service එක වෙනුවෙන් එම සේවාව භාවිතා කරමින් සිටින බවත් Spotify සමාගම විසින් පෙන්වා දෙනවා.

මේ 30%ක කොමිස් මුදල නිසාවෙන් තම පාරිභෝගිකයන් හට අඩු මිලට Spotify භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට නොහැකි බවත්, මේ ආකාරයේ විවිධ ක්‍රියාකලාපයන් කිහිපයක් සම්බන්ධ කරමින් යුරෝපා කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීමට Spotify සමාගම අද දින කටයුතු කර තිබෙනවා.


පසුගිය වර්ෂයේ Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ජංගම දුරකථන නිෂ්පාදකයන් හට Google Play Services භාවිතා කරන්නේ නම්, Google සමාගමේ Apps කිහිපයක් install කිරීමට සිදුවීම නිසාවෙන් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 5ක පමණ දඩ මුදලක් පැනවීමට මේ යුරෝපා හවුල විසින් කටයුතු කළා මතක ඇති.

මේ ඉරණමට මෙවර Apple සමාගමට ද මුහුණපෑමට සිදු වේවි දැයි මේ වන විට බොහෝ දෙනා සැක පහළ කරනු ලබනවා.

කොහොම නමුත් මේ වන විට Spotify සමාගම විසින් මේ චෝදනාව ගොණු කර අවසන් වන අතර මීට අදාල කටයුතු සිදු කරමින් පවතින බව යුරෝපා කොමිසමේ නිළධාරියෙකු විසින් The Wall Street Journal වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TimeToPlayFair වෙබ් අඩවිය, නිළ Spotify Newsroom එක, The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.