NSBM හරිත සරසවියේ FOSS Community එක මඟින් තාක්ෂණය කෙරෙහි උනන්දුවක් දක්වන විශ්වවිද්‍යාලීය සිසුන් සඳහා අධ්‍යාපනික වැඩසටහන් රැසකින් සමන්විත තාක්ෂණික උළෙලක් පසුගිය නොවැම්බර් 28 වනදා Technosphere 2022 ලෙස ආරම්භ කරනු ලැබුවා.

නොවැම්බර් 28 වනදා සිට දෙසැම්බර් 1 වනදා දක්වා webinars වශයෙන් පැවැත්වුණු Technosphere වැඩසටහන් සඳහා තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු බොහෝ දෙනෙක් ඔවුන්ගේ දායකත්වය දක්වා තිබුණා. ඒ වගේම NSBM FOSS වෙබ් අවකාශය හරහා පැවැත්වුණු අධ්‍යාපනික වැඩසටහන් මඟින් තාක්ෂණික ක්ෂේත්‍රය සඳහා ආධුනික සිසුන් හට විශාල දැනුමක් ලබා දීමට මොවුන් GitHub Community Sri Lanka සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කර තිබුණා.

මෙවර Technosphere තාක්ෂණික උළෙලට සමගාමීව NSBM FOSS Community එකේ කාන්තා නියෝජනය මඟින් Capture the Flag නම් වූ තරඟාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා. Capture the Flag එහෙමත් නැත්නම් CTF කියන්නේ ලෝකය පුරා ප්‍රසිද්ධව දක්නට ලැබෙන Coding ආශ්‍රිත Competition ක්‍රමයක් වන අතර ඒ සඳහා සහභාගී වන කණ්ඩායම් වලට ලබාදෙන තාක්ෂණික අභියෝගයන් ජයගැනීම අනුව අවසන් ජයග්‍රාහකයින් තෝරාගනු ලබනවා. මේ වන විට තරඟාවලිය අවසන්ව ඇති අතර, හෙට දිනයේදී මෙහි ජයග්‍රාහකයින් නිවේදනය කිරීමෙන් අනතුරුව අදාල මුදල් ත්‍යාග ලබාදීමට ඔවුන් සූදානම් ව සිටිනවා. Webinars වැඩසටහන් වලට සමගාමීව පැවැත්වුණු මෙම ක්‍රියාකාරකම් සඳහාද බොහෝ සිසුන් සංඛ්‍යාවක් සහභාගීත්වය දක්වා තිබුණා.

තාක්ෂණික දැනුමින් පිරි Technosphere 2022 උළෙලෙහි අවසාන දවස හෙට, එනම් දෙසැම්බර් 2 වෙනිදා, ආරාධිත සිසුන් ද ඇතුළුව 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් NSBM Green University පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. එහිදී ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් යුතුව Future Technologies⁩ පිළිබඳව දේශන පැවැත්වීමට නියමිත අතර CTF Competition එක සඳහා සහභාගී වී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් සඳහා සම්මාන පිරිනැමීමටද NSBM FOSS Community එක සූදානමින් සිටිනවා.

මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා Technoshere 2022 නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.

Technosphere 2022 උළෙල සඳහා නිළ මාධ්‍ය අනුග්‍රහය දක්වමින් NSBM FOSS Community එක සමඟ අත්වැල් බැඳගත් TechNews.LK කණ්ඩායම හෙට දිනයේදී පැවැත්වීමට නියමිත Final Event එකෙහි සියළු තතු ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටිනවා.