Google Maps වලින් අපි නිතරම ලෝකය දිහා බැලුවට හැමදාම බලලා තියෙන්නේ flat earth එහෙමත් නැතිනම් පැතලි ප්‍රක්ෂිප්තයක් සහිත ලෝකයක් දිහා කියලා මොහොතකටවත් හිතුණාද?

ඔන්න දැන් මේ Google Maps වලට අලුත් update එකක් නිකුත් කරමින් ලෝකය ගෝලාකාර ලෙස පෙන්වීමට Google සමාගම කටයුතු කරලා තියනවා. මේ වෙනස්කම හරහා Google Maps වල නිරවද්‍යභාවය තවත් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට Google සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ වෙනස්කම පිළිබඳව Twitter හරහා පණිවුඩයක් තබමින් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මේ අලුත් 3D Globe Mode එකත් සමගින් "Greenland’s projection is no longer the size of Africa" එහෙමත් නැතිනම්, අප්‍රිකාව හා ග්‍රීන්ලන්තයෙහි ප්‍රක්ෂිප්තයන් තවදුරටත් එක සමාන නොවේ යනුවෙනි.

භූගෝල විද්‍යාව හදාරන අයට නම් මේ ප්‍රක්ෂේපණ ගැන කියු සැනින් මෙහි වෙනස්කම තේරුම්ගැනීමට හැකි වුවත් බොහෝ වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ පැතලි මතුපිටක අඳින ලද ලෝක සිතියමක් භාවිතා කිරීමටයි. මේ අතරිනුත්, භාවිතා කිරීමේ පහසුව නිසා අප අතර වැඩි වශයෙන්ම ජනප්‍රිය වෙන්නේ මකේටර් ප්‍රක්ෂේපණය යටතේ අඳින ලද සිතියමයි.

Mercator_with_Tissot_s_Indicatrices_of_Distortion-tech-news-sinhala

මෙම ප්‍රක්ෂේපණයට අනුව සමකය ආසන්න ප්‍රදේශයන් නිවැරදිව පෙන්විය හැකි වුවත් සමකයෙන් ඈත් වීමත් සමඟ එම නිවැරදි බව ක්‍රමයෙන් අඩු වී යයි. උදාහරණයක් ලෙස ග්‍රීන්ලන්තය හා අප්‍රිකාව ගතහොත් ඒ දෙකම එක සමාන ලෙසින් මෙහි දර්ශනය වුවත් සැබැවින්ම ග්‍රීන්ලන්තයට වැඩියෙන් අප්‍රිකාව 14 ගුණයකින් පමණ විශාලත්වයකින් යුතු වෙනවා.

කොහොම වුණත් මේ වෙනස්කම desktop interface එකට පමණක් ලබාදී ඇති අතර තවමත් mobile app එක හරහා දැකගතහැකි වන්නේ මකේටර් ප්‍රක්ෂේපණය යටතේ ප්‍රක්ෂිප්ත පැරණි version එකයි.