ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකු විසින් Apple සමාගමට අයත් ආරක්ෂිත පරිඝනක ජාලයකට වසරක පමණ කාලසීමාවක් ඇතුලත වාර කිහිපයකදී ඇතුලු වී ගිගාබයිට් 90 කට අධික ප්‍රමාණයක දත්ත සොරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මෙසේ සොරා ගන්නා ලද දත්ත අතර Apple සමාගමේ පාරිභෝගිකයන්ගේ දත්ත ඇතුලත් වන අතර මෙම දත්ත ඔහුගේ පරිඝනකයේ "hack hack hack" යන නමින් folder එකක් සාදා එයට copy කර තිබෙන අවස්ථාවකදී අත්අඩංගුවට පත්වී තිබෙනවා අතර laptop පරිගණක දෙකක්, ජංගම දුරකථනයක් සහ මෙම දත්ත ඇතුලත් වූ hard disk එකක් සමගින් මොහුව අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මීට අමතරව එම සිසුවාගේ නීතීඥයා පෙන්වා දෙන පරිදි මොහු ලොව නම ගිය අන්තර්ජාතික hacking community එකක සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර මෙම සිදුවීමට අදාල නම් හා වෙනත් තොරතුරු නීතිමය අවශ්‍යතා මත මෙන්ම ඔහුගේ ජීවිතය ඇතිවියහැකි අවධානම් තත්වය නිසාවෙන් හෙළ නොකිරීමට ඔහු කටයුතු කරනවා.

මෙය Apple සමාගමේ දත්ත එලියට පිට වූ පළමු අවස්ථාව නොවන බව මේ වන විට බොහෝ දෙනෙකු දන්නා කාරණයක් වන අතර මීට පෙර ද වාර ගණනාවකදී iCloud සේවාව hack කර ඉතාමත් ප්‍රසිද්ධ නළු නිළියන්ගේ නිරුවත් ඡායාරූප රැසක් අන්තර්ජාලයට නිකුත් කරන්නට hacker වරුන් පිරිසක් කටයුතු කර තිබූ අතර, මෙම සිදුවීම ද එයට සම්බන්ධතාවයක් ඇතිදැයි පරීක්ෂණ කටයුතු කරමින් පවතින බව දැනගන්නට ලැබෙනවා.


මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් Apple සමාගම විසින් රොයිටර් ප්‍රවත් සේවයට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, කිසිඳු පාරිභෝගිකයෙකුගේ දත්ත මේ හරහා නිකුත් වී නොමැති බවත්, ඔවුන් සෑම විටම තම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනු ලබන බවත් ය.

18/08/2018 වන දින පස්වරු 8:11 ට Apple සමාගම විසින් නිකුත් කල ප්‍රකාශය ඇතුලත් කිරීමට මෙම ලිපිය update කරන ලදී.